යාඥවල්ක්‍ය

විදේහ නරපති ජනකයෝ රාජාසනාරූඪව සිටි කල් හි යාඥවල්ක්‍ය තෙමේ එහි පැමිණියේ ය.

ජනක නරපතියෝ උහු විචාලහ: “යාඥවල්ක්‍ය, කුමක් උදෙසා තෙපි මෙහි පැමිණියෙහු ද? ගවයන් කැමැත්තෙන් ද, නොහොත් සූක්ෂ්ම ප්‍රශ්න විචාරනු ලැබීමේ කැමැත්තෙන් ද?”

“ඒ දෙක ම උදෙසා, මහරජ යැ” යි යාඥවල්ක්‍ය පිළිවදන් දුන්නේ ය.

තව ද යාඥවල්ක්‍යයෝ මෙසේ ද කීහ: “මහරජ, තොප ගේ කවර හෝ ගුරුවරයෙක් දෙසන ලද්දක් කිව මැනව.”

“ශිලින පුත්‍ර ජිත්වන් මට මෙසේ කීය: වාග් ද්වාරය වනාහි බ්‍රහ්මන් වේ ය.”

“යහපත් මවක, පියෙකු, ගුරුවරයෙකු ගෙන් උපදේශ ලැබීමේ භාග්‍යය ලද්දෙකු කෙසේ කියයි ද, ශිලින පුත්‍ර ජිත්වන් ද එසේ ‘වාග් ද්වාරය නම් බ්‍රහ්මන් වේ ය’ යි කියා ඇත. වචනයෙන් තොර වූවෙකු කුමක් නම් කෙරේ ද? නමුත් ඔහු ඔබට එහි ආයතනය සහ ප්‍රතිෂ්ඨානය ගැනත් කීවෙහි ද?”

“නැත, ඔහු නො කීවෙහි ය.”

“මේ බ්‍රාහ්මණයා එක් පාදයක් ඇත්තෙක් සේ ය, මහරජ.”

“එසේ නම් තොප ම එය කිව මැනැවි, යාඥවල්ක්‍යයාණෙනි.”

“වචනය එහි ආයතනය ද ආකාශය එහි ප්‍රතිෂ්ඨාව ද වෙයි. ප්‍රඥාව සේ එය භාවනා කට යුතු ය.”

“ප්‍රඥාව යනු කිමෙක් ද, යාඥවල්ක්‍ය?”“ඒ වනාහි වචනය ය, මහරජ,“ යාඥවල්ක්‍ය තෙමේ පිළිවදන් දුන්නේ ය. “වචනයෙන් ම, ඍග් වේදය ද, යජුර් වේදය ද, සාම වේදය ද, අථර්වන් වංගීරසය ද, ඉතිහාස, පුරාණ, විද්‍යා, උපනිශද්, ශ්ලෝක, සූත්‍ර, අනුව්‍යාකරණ, ව්‍යාඛ්‍යායනාදිය ද, මෙලොව ද, පරලොව ද, හටගත් සියල්ල ද දැන ගන්නෙහි ය. වචනය, මහරජ, පරම බ්‍රහ්මන් වන්නෙහි ය. මෙසේ දැන භාවනා කරන්නහු වචනය විසින් හැර නොයනු ලබන්නෙහි ය. සියල්ලෝ උහු කරා නොපැකිළ පැමිණෙත්. දේවත්වය ලැබූයේ දෙවියන් ලබන්නෙහි ය.”

“මම තොපට හස්තියෙකු තරම් වූ ගොනෙකු සහ ගවයන් සහසක් පිරිනමන්නෙමි” යි ජනක නරපතියෝ කීහ.

යාඥවල්ක්‍ය තෙම පිළිවදන් දුන්නේ ය: “ශිෂ්‍යයෙකු ට සම්පූර්ණයෙන් ම උපදේශ නොදී ත්‍යාග නොපිළිගත යුතු ය යනු මගේ පියා ගේ අදහස විය.

තව ද කවරෙකු හෝ තොපට කියූවක් කිව මැනවි, මහරජ.”

— බ්‍රහදාරණ්‍යක උපනිශද් 4.1 කුඩා කොටසක පරිවර්තන තැතක්.

පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යය හින්දු ලෙස අප දැන් හඳුන්වන ආගමේ කූටප්‍රාප්තිය ය යනු මගේ අදහස යි. බුදුන් වහන්සේ ට සියවසකට දෙකකට පෙර විසූ යාඥවල්ක්‍ය වැනි විශිෂ්ටයින් ගේ අදහස් එවක ආගමික ගවේශකයන් ගැන පමණක් නොව බුදුන් වහන්සේ ඉගැන්වීමට උපයෝගී කරගත් සමාජගත මතිමතාන්තර ගැන ද ඉඟි අපට සපයයි.


Posted

in

,

by

Tags: