යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන විමසුමක්.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, බෞද්ධ උපදේශන සභාව ඔස්සේ ජනාධිපතිවරයාට කල ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, “දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීම” උදෙසා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් කෙටුම්පත් කෙරෙමින් තිබේ.
සරසවි ඇදුරු මහැදුරන්ගෙන් සැදුම්ලත් මේ උපදේශන සභාව, ශාස්ත්‍රීය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න නො දන්නේ නො වේ. එහෙයින්, එකී අරමුණ සාක්ෂාත් කිරීමට මේ පනත් ප්‍රවේශය තරම් අශාස්ත්‍රීය ක්‍රමයක් තවත් නැතැයි උන්වහන්සේට පෙන්වාදීමට සිදුවීම විමතියට ද කණගාටුවට ද කරුණකි.
ඒ කෙසේ වෙතත්, ත්‍රිපිටකය කවර හෝ එක් විශේෂිත පිරිසක ගේ නොව ලෝ වැසි සැම ගේ පොදු උරුමයක් හෙයින් ද, යහපත් ආධ්‍යාශයෙන් වුවත් මේ පනතෙන් කෙරෙන්නේ ත්‍රිපිටකයට හානියක් ම හෙයින් ද, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මෙය සටහන් කරමි.
මේ යෝජිත පනත කෙරෙහි අප ගේ විවේචනයට පැතිකඩ දෙකකි:
- පනතෙහි සඳහන් ක්‍රමවේදය ධර්ම-විනයට ඇති එකඟතාව
- පනතෙහි කරුණුවල ශාස්ත්‍රීය පදනම
ත්‍රිපිටකය අරභයා කෙරෙන කවර ක්‍රියාවක දී වුව ධර්ම-විනය මුඛ්‍යස්ථානයෙහි විය යුතු හෙයින් ඒ පළමු සලකමු.
1. පනතෙහි සඳහන් ක්‍රමවේදය ධර්ම-විනයට ඇති එකඟතාව
යෝජිත පනත් කෙටුම්පතේ පස්වන කොටසෙහි, පනතෙන් නියාමනය වන “වැරදි” සඳහන් වේ. “ථේරවාද ත්‍රිපිටකපාළියට අපහාස කිරීම, විකෘති කිරීම හා ථේරවාද සම්ප්‍රදායට පරිබාහිරව අර්ථනිරූපන ඉදිරිපත් කරමින් විකෘති කිරීම සහ/හෝ ථෙරවාද ත්‍රිපිටකයට සාම්ප්‍රදායිකව පිළිගත් අනුවාදයට පටහැනි අනුවාදයක් සපයමින් . . . ප්‍රකාශයට පත් කිරීම” ආදිය මීට අයත් ය.
ඒ අනුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය අනුදක්නා පරිදි අධිකරණය විසින් වැරදිකරු කරනු ලබන්නෙකු හට, දඩයක් හා අවම වශයෙන් මාස තුනක සිර දඬුවමක් හිමි වෙයි.
බුද්ධ දේශනාව අත්‍යන්තයෙන් ප්‍රායෝගික ය. බුද්ධ දේශනාවේ බහාලුව ලෙස ත්‍රිපිටකයෙහි අගයක් ඇත්තේ එය ක්‍රියාවට නැංවෙන කල්හි පමණකි. ප්‍රතිපදාව පසෙක ලා, බුද්ධ දේශනාවට හාත්පසින් විරුද්ධ ක්‍රම අනුගමනය කරමින් බුද්ධ දේශනාවෙහි වචන රැකීමට තැත් කිරීම, එතෙර වන්නට ඇති පහුර මෙතෙර තබාගෙන, තමාටත් අනුන්ටත් ප්‍රයෝජන නොවන සේ අගුළු ලෑමක් වැන්න.
ධර්මය නිසි කොණින් ගෙන එතෙර වන්නාට ද, ප්‍රතිපදාව වැරදියට හෝ ගෙන මුත් වීර්යය කරන්නාට ද, ධර්මයට ද තමන් වහන්සේට ද අපහාස කරන්නාට ද මතු නොව හිසට ගල් පෙරලූවහු හට ද අපමණ කරුණා මෛත්‍රිය ම දැක්වූ ශාස්තෲන් වහන්සේ ගේ සැබෑ ශ්‍රාවකයනට, අද මැනැවින් ස්ථාපිත ව ඇති ලේඛන ගොන්නකට දෙන අර්ථකථනයක හෝ කෙරෙන අපහාසයක හෝ ප්‍රතිවාදියාට විලංගු ලෑමට තරම් පැටලෙන්නට දෙයක් ඇත් ද?
ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා අද ත්‍රිපිටකය අධ්‍යයනයට විවෘත ය. එවන් කලෙක ත්‍රිපිටකයෙහි අන්තර්ගතය අරභයා විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් වීම අපේක්ෂා කල යුත්තකි. සාම්ප්‍රදායික අර්ථකථනය නිවැරැදි නම්, ඒ මතවාදාත්මක අභියෝග ඉදිරියෙහි කලබල වීමට හේතුවක් නො වේ: හුදෙක් ධර්මයෙන් ම ඒ කවර අදහසක් වුව ද ජය ගැනීමට ධර්මය දරන්නන්ට හැකි විය යුතු ය.
2. පනතෙහි කරුණුවල ශාස්ත්‍රීය පදනම
යෝජිත පනත කරුණු කිහිපයක් උපකල්පනය කරයි:
i. “ථේරවාදය” නම් වූ ඒකීය සම්ප්‍රදායක් ඇත.
ii. “ථේරවාද ත්‍රිපිටකය” නම් වූ ස්ථාපිත, මතභේද රහිත ලේඛන ගොනුවක් ඇත.
iii. “මහාවිහාරයීය” නම් වූ ස්ථාපිත, මතභේද රහිත අර්ථකථනයක් ඇත.
i. ශාසන ඉතිහාසයෙහි කවර කලෙකවත් ඒකීය ථේරවාදයක් අපට හමු නොවේ. ත්‍රිපිටකය පසෙක තිබියේවා, අටුවාවෙහි පවා “ථේරවාද” යන්න නිකාය නාමයක් ලෙස නො යෙදෙයි. අද අපි ථේරවාද ත්‍රිපිටකය ලෙස හඳුන්වන්නේ මහාවිහාරවාසී/තම්බපණ්ණීය නිකායෙහි ත්‍රිපිටකය යි. ඒ “ථෙරිය” ලෙස වර්ග කෙරුණු පැරණි නිකාය ගණනාවක් අතරින් අද ඉතිරිව ඇති නිකාය යි. අද වුවත් ථේරවාද රටවල් අතරත්, ඒ එක් එක් රට තුලත්, ථේරවාද ප්‍රතිපදාව සඳහා කෙතරම් එකිනෙකින් වෙනස් නිදර්ශන අපට හමු වේ ද? එහෙයින්, පනත මේ බහුවිධ ථේරවාද අතරින් කුමක් නම් නිවැරදි ථේරවාදය ලෙස අර්ථ දක්වන්නේ ද? එවන් අර්ථ දැක්වීමෙහි සමත් විශිෂ්ටයෝ කවරහු ද?
ii. ථේරවාද ත්‍රිපිටක ප්‍රකාශන ගණනාවක් වෙයි. ලංකාවේ බුද්ධ ජයන්ති හා හේවාවිතාරණ මුද්‍රණ, බිරිතානියෙහි පාලි ග්‍රන්ථ සමිතියේ ප්‍රකාශනය, බුරුම ඡට්ඨ සංගීති ප්‍රකාශනය, රාජකීය තායි ප්‍රකාශනය ආදී වශයෙනි. මේ ප්‍රකාශන අතර යම් යම් වෙනස්කම් දක්නා ලැබේ. ඇතැම් විටෙක ත්‍රිපිටකයට අන්තර්ගත කෘති මොනවා ද යන්න දක්වා මේ වෙනස්කම් විහිදෙයි: බුරුම පිටකයට මිළින්ද පඤ්හය අයත් වන විට අන් පිටකවල එය අන්තර්ගත නොවීම ද මහාසතිපට්ඨාන සූත්‍රය මිස සතිපට්ඨාන සූත්‍රය බුරුමයෙහි හමු නොවීම ද ඊට උදාහරණය වේ.
පනත මින් කුමන ත්‍රිපිටකයක් නිවැරදි ත්‍රිපිටකය ලෙස ගන්නේ ද? ඒ ත්‍රිපිටකය හැර වෙනත් ප්‍රකාශනයක් පරිහරණය කරන්නහුටත් පනත බලපාන්නේ ද? එසේ නම් ඒ ප්‍රකාශන අතර ඇති වෙනස්කම් පනත විසින් සමහන් කෙරෙන්නේ කෙසේ ද?
iii. මහාවිහාරයෙහි ස්වර්ණමය යුගයෙහි සංගෘහිත, පස්වන සියවසට අයත් අටුවා පවා, සියල්ල අරභයා මහාවිහාරික සියල්ලන් විසින් එක ම අර්ථකථනයක් නොදරන ලද බවට සාක්ෂි දරයි. අදහස්වල නානාත්වය මහාවිහාරයීය යැ යි කිව හැකි සම්ප්‍රදායට ආගන්තුක නො වේ. එවන් සම්ප්‍රදායක් උත්ථම්භනය කරන්නට ශපථ කරන පනත, නිවැරැදි එක ම අර්ථකථනයක් ගෙන හැර දක්වන්නේ කෙසේ ද?
ත්‍රිපිටක සංරක්ෂණ පනතට මග පෙන්වන්නට ඇත්තේ යහපත් අරමුණු යැ යි අපි සිතමු. එහෙත්, “අපායට පාර වැටී ඇත්තේ යහපත් අරමුණු මතිනි” ය යන බටහිර ආප්තෝපදේශය ද අපි සිහි කරමු. ත්‍රිපිටකය රැකිය හැක්කේ පනතකින් නොව හුදෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ම පමණකැ යි අපි අදහන්නෙමු.
ත්‍රිපිටකය එක් පිරිසක ගේ නොව අප සියල්ලගේ ම ශ්‍රාවක උරුමය හෙයින්, ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත හරහා ත්‍රිපිටකයට ද, බෞද්ධ ප්‍රතිපදාවට ද විය හැකි හානිය ඉදිරියේ අපි නෑසූ කන් ව ද නො හිඳින්නෙමු.