“මා ඉපදෙන්නට පෙර ද, මේ දැන් මා ජීවත් වන ලෝකය පැවතිණ. මා මළ පසු ද, ලෝකය පවතී. මගෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇත.”
ධර්මය නිවැරදි කෙලවරින් අල්ලා ගැනීමට නම්, මුලින් ම අත් හල යුතු දෘෂ්ටිය මේ පාරභෞතිකය යි.
පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී ඇතැ යි කිව හැක්කේ ‘මගේ’ ලෝකයක් පමණි. පොළොව, ඉර, හඳ, තාරකා, අනෙක් මිනිසුන්, සතුන්, පරමාණු, අණු පරමාණුක අංශු යනාදී මෙ කී නො කී දෑ ඇත්තේ මට සාපේක්ෂ ව ය. ඒ ඕනෑ ම ‘දෙයක්’ නිරීක්ෂණය කරන මට, ‘මම’ නමැති නිරීක්ෂකයා අත් හල නොහැකි ය.
සෑම ‘දෙයක්’ ම, ඒ දේ අත්විදින ‘මම’ ප්‍රතිබිම්බනය කරයි.
‘මම’ සිටින තාක් කල් ‘දේවල්’ පවතී; දේවල් ඇති තාක් ‘මම’ සිටියි. අත් දකින්නෙකු ගෙන් තොර ව—නිරපේක්ෂ ව—ලෝකයක් ‘පැවතිය’ හැකි ද? කිසිවක් ම අත් නොදකින කල ‘මම’ සිටිය හැකි ද?
හුදු ඉන්ද්‍රිය සංජානනයෙන් ඔබ්බේ ලෝකයක් කිසිවිටෙක අපට ග්‍රහණය නොවේ.1 ලෝකයේ යමකින් ලෝක සඤ්ඤී වේ ද, ලෝක මානී වේ ද, ආර්ය විනයෙහි ලෝකය යනු එය යි.2
බඹයක් පමණ වූ ශරීරය තුල ම, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පැනවිය හැක්කේ එහෙයිනි.3
මමායනයේ කෙලවර ලෝකයේ ද කෙලවර යි.
—
- සබ්බ සූත්රය, සංයුත්ත නිකාය 35.23
- ලෝකාන්තගමන සූත්රය, සංයුත්ත නිකාය 35.116
- රෝහිතස්ස සූත්රය, අංගුත්තර නිකාය 4.45