තාරාවලෝකනය

The Tara Bodhisattva statue from Sri Lanka at the British Museum

සියක් විදුලි බුබුලින් ඒකාලෝකිත, ස්වර්ණ, ශ්වේත වර්ණයෙන් අලංකෘත සියනෙන් යුත්, සුමට දාරුමය බිම්තලයෙන් නිෂ්ඨිත මහා මණ්ඩපයෙහි අග්‍ර කෙලවර, අමරාවතියෙන් ඔසවාගෙනවුත් ලන්ඩනයේ ප්‍රතිෂ්ඨාපිත කමනීය කැටයම් පෙළ අභිමුඛයේ, මෘගපතියන් විසින් ආරක්ෂා කෙරෙන්නාක් සේ වැඩ හිඳිනා තාරා බෝධිසත්ත්වයන් වහන්සේ දකිමි.

වසර දහසකට පෙර ගෝකණ්ණයේ දී උන් වහන්සේ යම් හෙළ ශිල්පියෙකු අතින් ප්‍රාදූර්භූත වූ සේක් ද, එ සමයේ උන් වහන්සේ ට ප්‍රදක්ෂිණා කල පැරැන්නෙකු ගේ හඬ හද තුලින් ඇසෙන්නාක් සේ ද වෙයි. ඒ හඬින් අනුබල ලැබ, ඒ කාරුණික සානුකල්පිත බැල්මෙහි ගැලෙනු වස්, සෙනග පරයා උන් වහන්සේ වෙත එළැඹෙමි.

තාරා බෝධිසත්ත්වයන් වහන්සේ බිරිතානිය වෙත පතල මහා කරුණාවෙන් ලංකාවේ සිට ලන්ඩනයට වැඩම කල ප්‍රයාණයේ අග්‍ර දානපතියාණෝ නම් එක්තරා රොබට් බ්‍රවුන්රිග් නම් සිටාණෙක් ල.

එකල් හි කැප්පෙටිපොල, විල්බාවේ, පිලිමතලාවේ, කිවුලේගෙදර, මඩුගල්ලේ, ඇහැලේපොල, කොහුකුඹුරේ ඈ නොයෙක් දෙසින් ඒ බ්‍රවුන්රිගයා ගැන වෙනත් කතාවක් කියන්නා සේ ද දැනෙයි. කුසල් සිත ද සැලෙයි.

ඒ හඬ වෑයමෙන් යට කර, සබය මැද වන්දනාවට ශ්‍රද්ධාව නොතරම් හෙයින් කරුණාවේ ප්‍රතිමූර්තියක් බඳු වූ තාරා බෝධිසත්ත්වයන් වහන්සේ සිතින් පමණක් වැඳ, දීනයෙකු සේ ලන්ඩනයේ වීදි වදිමි.