පංචුපාදානස්කන්ධය යනු අප සාමාන්‍යයෙන් සිතන්නට උගෙන ඇති පරිදි සරීර කූඩුව නො වේ.
පංචුපාදානස්කන්ධය යනු මගේ අතීත, වර්තමාන, අනාගත සියලු අත්දැකීම් ගොන්න යි; මගේ සමස්ත තුන් කල් ලෝකය යි.1
පංචුපාදානස්කන්ධය ඇඟිල්ල දික් කර පෙන්විය හැක්කක් නොවේ: එසේ පෙන්වන්නට නම් මා එයින් පිටත සිටිය යුතු ය. නැතහොත් ඊට අයත් නොවන යමක් ලෝකයේ තිබිය යුතු ය. එය පෙන්වන්නට තැත් කරන මට කල හැක්කේ ‘මාත් ඇතුළු මේ මුලු ලෝකය ම යැ’ යි කීමට ය.
ආධ්‍යාත්මික යැයි ඉරක් ඇඳ ඉන් සමහර කොටසක් මම ‘මම’ තුලට ඔබා ගනිමි. සාමාන්‍යයෙන් ඒ ඉර ඇඳෙන්නේ ශරීරය වටා යි.
එහෙත් ඒ ඔබාගන්නා දේ ‘මම’ නො වේ. සමහර විටෙක ‘මගේ ශරීරය, මගේ හිත’ ආදී වශයෙනුත් ‘මම’ ඒ සියල්ලට පිටින් හිඳිනු පෙනෙන බැවිනි.
ඒ නයින් ශරීරය ද මා විසින් අත්දකින විවිධ දේ අතර තවත් එක් ‘දෙයක්’ පමණි.
ශරීරය හෝ, පුටුව, මේසය, ඉර, හඳ හෝ අන් පුද්ගලයෙකු හෝ සතෙකු හෝ මේ මොන යම් දෙයක් වුවත් අත්දකින මට, ඒ කිසිවක් නොවන ඉන් මෙහා සිටින ‘මම’ ද නිරතුරු ව පෙනේ.
සෑම අත්දකින දෙයක් ම (ශරීරය, හිත ආදිය ද අත්දකින දේ ම ය), ඒ අත්දැකීම විඳින ‘මම’ හා බැඳී පවතී.
ඒ සෑම දෙයක් ම (එක් ව ගත්කල පංචුපාදානස්කන්ධය) එය අයත් කරගත්, එහෙත් කිසි විටෙක ඍජු ව ග්‍රහණය නොවන, ‘මම’ ප්‍රතිබිම්බනය කරයි.
‘දේවල්’ නොතිබුනොත්, ඒවායින් පිළිබිඹු වන ‘මම’ ට පැවැත්මක් නො වේ.2
මගේ ප්‍රේමණීයයන් ගේ සිට මැදහත්, අහිතවත් සියල්ලන් දක්වා ත්, මෑත කුඩා කුහුඹුවා ගේ සිට ඈත දැවැන්ත මන්දාකිණි දක්වා ත් ලෝකයේ සියලු දේ මගේ වන්නේ ‘මම’ ඒ මත යැපෙන බැවිනි.
ලොව ඕනෑ ම දෙයක අනිත්‍යතාව, සංඛාර දුක්ඛය කැඳවන්නේ එලෙසිනි.3
—
1. දෙවන ධර්ම දේශනාව වූ අනත්තලක්ඛණ සූත්‍රයේ දී ම (සංයුත්ත නිකාය 22.59), පංචුපාදානස්කන්ධය මෙසේ අර්ථ දැක්වෙයි:
“අතීත වූ ද අනාගත වූ ද දැන් පවත්නා වූ ද, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඕලාරික වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ සමීපයෙහි වූ හෝ, යම්කිසි රූපයක් . . . වේදනාවක් . . . සංඥාවක් . . . සංස්කාරයක් . . . විඥානයක් වේ ද ඒ සියල්ල . . . ”
(යං කිඤ්චි රූපං . . . වේදනා . . . සඤ්ඤා . . . සංඛාරා . . . විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්ථං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීණං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං . . . )
2. සඤ්ඤාවේදයිතනිරෝධයෙන් පසු අරහත්වය එලැඹෙන්නේ එහෙයිනි (චූලවේදල්ල සූත්‍රය, මජ්ඣිම නිකාය 44)
3. රහෝගත සූත්‍රය (සංයුත්ත නිකාය 36.11)