Seylonese Ramblings https://seylon.com Yaṃ anuseti taṃ anumīyati; yaṃ anumīyati tena saṅkhaṃ gacchati. Thu, 13 May 2021 19:14:52 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 ත්‍රිපිටක සංරක්ෂකයන්ගෙන් ත්‍රිපිටකය රැක ගනිමු. https://seylon.com/tripitaka-conservation-act/ Wed, 05 May 2021 13:09:25 +0000 http://seylon.com/?p=38 යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන විමසුමක්.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, බෞද්ධ උපදේශන සභාව ඔස්සේ ජනාධිපතිවරයාට කල ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, “දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීම” උදෙසා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් කෙටුම්පත් කෙරෙමින් තිබේ.

සරසවි ඇදුරු මහැදුරන්ගෙන් සැදුම්ලත් මේ උපදේශන සභාව, ශාස්ත්‍රීය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න නො දන්නේ නො වේ. එහෙයින්, එකී අරමුණ සාක්ෂාත් කිරීමට මේ පනත් ප්‍රවේශය තරම් අශාස්ත්‍රීය ක්‍රමයක් තවත් නැතැයි උන්වහන්සේට පෙන්වාදීමට සිදුවීම විමතියට ද කණගාටුවට ද කරුණකි.

ඒ කෙසේ වෙතත්, ත්‍රිපිටකය කවර හෝ එක් විශේෂිත පිරිසක ගේ නොව ලෝ වැසි සැම ගේ පොදු උරුමයක් හෙයින් ද, යහපත් ආධ්‍යාශයෙන් වුවත් මේ පනතෙන් කෙරෙන්නේ ත්‍රිපිටකයට හානියක් ම හෙයින් ද, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මෙය සටහන් කරමි.

මේ යෝජිත පනත කෙරෙහි අප ගේ විවේචනයට පැතිකඩ දෙකකි:

  1. පනතෙහි සඳහන් ක්‍රමවේදය ධර්ම-විනයට ඇති එකඟතාව
  2. පනතෙහි කරුණුවල ශාස්ත්‍රීය පදනම

ත්‍රිපිටකය අරභයා කෙරෙන කවර ක්‍රියාවක දී වුව ධර්ම-විනය මුඛ්‍යස්ථානයෙහි විය යුතු හෙයින් ඒ පළමු සලකමු.

1. පනතෙහි සඳහන් ක්‍රමවේදය ධර්ම-විනයට ඇති එකඟතාව

යෝජිත පනත් කෙටුම්පතේ පස්වන කොටසෙහි, පනතෙන් නියාමනය වන “වැරදි” සඳහන් වේ. “ථේරවාද ත්‍රිපිටකපාළියට අපහාස කිරීම, විකෘති කිරීම හා ථේරවාද සම්ප්‍රදායට පරිබාහිරව අර්ථනිරූපන ඉදිරිපත් කරමින් විකෘති කිරීම සහ/හෝ ථෙරවාද ත්‍රිපිටකයට සාම්ප්‍රදායිකව පිළිගත් අනුවාදයට පටහැනි අනුවාදයක් සපයමින් . . . ප්‍රකාශයට පත් කිරීම” ආදිය මීට අයත් ය.

ඒ අනුව ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය අනුදක්නා පරිදි අධිකරණය විසින් වැරදිකරු කරනු ලබන්නෙකු හට, දඩයක් හා අවම වශයෙන් මාස තුනක සිර දඬුවමක් හිමි වෙයි.

බුද්ධ දේශනාව අත්‍යන්තයෙන් ප්‍රායෝගික ය. බුද්ධ දේශනාවේ බහාලුව ලෙස ත්‍රිපිටකයෙහි අගයක් ඇත්තේ එය ක්‍රියාවට නැංවෙන කල්හි පමණකි. ප්‍රතිපදාව පසෙක ලා, බුද්ධ දේශනාවට හාත්පසින් විරුද්ධ ක්‍රම අනුගමනය කරමින් බුද්ධ දේශනාවෙහි වචන රැකීමට තැත් කිරීම, එතෙර වන්නට ඇති පහුර මෙතෙර තබාගෙන, තමාටත් අනුන්ටත් ප්‍රයෝජන නොවන සේ අගුළු ලෑමක් වැන්න.

ධර්මය නිසි කොණින් ගෙන එතෙර වන්නාට ද, ප්‍රතිපදාව වැරදියට හෝ ගෙන මුත් වීර්යය කරන්නාට ද, ධර්මයට ද තමන් වහන්සේට ද අපහාස කරන්නාට ද මතු නොව හිසට ගල් පෙරලූවහු හට ද අපමණ කරුණා මෛත්‍රිය ම දැක්වූ ශාස්තෲන් වහන්සේ ගේ සැබෑ ශ්‍රාවකයනට, අද මැනැවින් ස්ථාපිත ව ඇති ලේඛන ගොන්නකට දෙන අර්ථකථනයක හෝ කෙරෙන අපහාසයක හෝ ප්‍රතිවාදියාට විලංගු ලෑමට තරම් පැටලෙන්නට දෙයක් ඇත් ද?

ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා අද ත්‍රිපිටකය අධ්‍යයනයට විවෘත ය. එවන් කලෙක ත්‍රිපිටකයෙහි අන්තර්ගතය අරභයා විවිධ අදහස් හා මතවාද ඉදිරිපත් වීම අපේක්ෂා කල යුත්තකි. සාම්ප්‍රදායික අර්ථකථනය නිවැරැදි නම්, ඒ මතවාදාත්මක අභියෝග ඉදිරියෙහි කලබල වීමට හේතුවක් නො වේ: හුදෙක් ධර්මයෙන් ම ඒ කවර අදහසක් වුව ද ජය ගැනීමට ධර්මය දරන්නන්ට හැකි විය යුතු ය.

2. පනතෙහි කරුණුවල ශාස්ත්‍රීය පදනම

යෝජිත පනත කරුණු කිහිපයක් උපකල්පනය කරයි:

i. “ථේරවාදය” නම් වූ ඒකීය සම්ප්‍රදායක් ඇත.

ii. “ථේරවාද ත්‍රිපිටකය” නම් වූ ස්ථාපිත, මතභේද රහිත ලේඛන ගොනුවක් ඇත.

iii. “මහාවිහාරයීය” නම් වූ ස්ථාපිත, මතභේද රහිත අර්ථකථනයක් ඇත.

i. ශාසන ඉතිහාසයෙහි කවර කලෙකවත් ඒකීය ථේරවාදයක් අපට හමු නොවේ. ත්‍රිපිටකය පසෙක තිබියේවා, අටුවාවෙහි පවා “ථේරවාද” යන්න නිකාය නාමයක් ලෙස නො යෙදෙයි. අද අපි ථේරවාද ත්‍රිපිටකය ලෙස හඳුන්වන්නේ මහාවිහාරවාසී/තම්බපණ්ණීය නිකායෙහි ත්‍රිපිටකය යි. ඒ “ථෙරිය” ලෙස වර්ග කෙරුණු පැරණි නිකාය ගණනාවක් අතරින් අද ඉතිරිව ඇති නිකාය යි. අද වුවත් ථේරවාද රටවල් අතරත්, ඒ එක් එක් රට තුලත්, ථේරවාද ප්‍රතිපදාව සඳහා කෙතරම් එකිනෙකින් වෙනස් නිදර්ශන අපට හමු වේ ද? එහෙයින්, පනත මේ බහුවිධ ථේරවාද අතරින් කුමක් නම් නිවැරදි ථේරවාදය ලෙස අර්ථ දක්වන්නේ ද? එවන් අර්ථ දැක්වීමෙහි සමත් විශිෂ්ටයෝ කවරහු ද?

ii. ථේරවාද ත්‍රිපිටක ප්‍රකාශන ගණනාවක් වෙයි. ලංකාවේ බුද්ධ ජයන්ති හා හේවාවිතාරණ මුද්‍රණ, බිරිතානියෙහි පාලි ග්‍රන්ථ සමිතියේ ප්‍රකාශනය, බුරුම ඡට්ඨ සංගීති ප්‍රකාශනය, රාජකීය තායි ප්‍රකාශනය ආදී වශයෙනි. මේ ප්‍රකාශන අතර යම් යම් වෙනස්කම් දක්නා ලැබේ. ඇතැම් විටෙක ත්‍රිපිටකයට අන්තර්ගත කෘති මොනවා ද යන්න දක්වා මේ වෙනස්කම් විහිදෙයි: බුරුම පිටකයට මිළින්ද පඤ්හය අයත් වන විට අන් පිටකවල එය අන්තර්ගත නොවීම ද මහාසතිපට්ඨාන සූත්‍රය මිස සතිපට්ඨාන සූත්‍රය බුරුමයෙහි හමු නොවීම ද ඊට උදාහරණය වේ.

පනත මින් කුමන ත්‍රිපිටකයක් නිවැරදි ත්‍රිපිටකය ලෙස ගන්නේ ද? ඒ ත්‍රිපිටකය හැර වෙනත් ප්‍රකාශනයක් පරිහරණය කරන්නහුටත් පනත බලපාන්නේ ද? එසේ නම් ඒ ප්‍රකාශන අතර ඇති වෙනස්කම් පනත විසින් සමහන් කෙරෙන්නේ කෙසේ ද?

iii. මහාවිහාරයෙහි ස්වර්ණමය යුගයෙහි සංගෘහිත, පස්වන සියවසට අයත් අටුවා පවා, සියල්ල අරභයා මහාවිහාරික සියල්ලන් විසින් එක ම අර්ථකථනයක් නොදරන ලද බවට සාක්ෂි දරයි. අදහස්වල නානාත්වය මහාවිහාරයීය යැ යි කිව හැකි සම්ප්‍රදායට ආගන්තුක නො වේ. එවන් සම්ප්‍රදායක් උත්ථම්භනය කරන්නට ශපථ කරන පනත, නිවැරැදි එක ම අර්ථකථනයක් ගෙන හැර දක්වන්නේ කෙසේ ද?

ත්‍රිපිටක සංරක්ෂණ පනතට මග පෙන්වන්නට ඇත්තේ යහපත් අරමුණු යැ යි අපි සිතමු. එහෙත්, “අපායට පාර වැටී ඇත්තේ යහපත් අරමුණු මතිනි” ය යන බටහිර ආප්තෝපදේශය ද අපි සිහි කරමු. ත්‍රිපිටකය රැකිය හැක්කේ පනතකින් නොව හුදෙක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ම පමණකැ යි අපි අදහන්නෙමු.

ත්‍රිපිටකය එක් පිරිසක ගේ නොව අප සියල්ලගේ ම ශ්‍රාවක උරුමය හෙයින්, ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනත හරහා ත්‍රිපිටකයට ද, බෞද්ධ ප්‍රතිපදාවට ද විය හැකි හානිය ඉදිරියේ අපි නෑසූ කන් ව ද නො හිඳින්නෙමු.

]]>
විඥානඝනයේ විරුද්ධාභාසය https://seylon.com/pure-consciousness-paradox/ Wed, 09 Sep 2020 14:30:28 +0000 http://seylon.com/?p=30 බුද්ධකාලීන භාරතයේ ආත්මවාදය, නූතන කවර හෝ විඤ්ඤාණවාදයක් තරමට ම සියුම් ද සූක්ෂ්ම ද වූවකි. පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යයේ හමු වන බ්‍රහ්මන් යනු අහසේ ජීවත් වන අමරණීය සුපර්මෑන් කෙනෙක් ම නො වේ. බ්‍රහ්මන් අරභයා විවිධ අසංගත කතා අතර සුපර්මෑන් අර්ථකථනයෙන් බොහෝ දුර විකාශය වූ අදහස් දැරූ බ්‍රාහ්මණයින් ද අපට උපනිශදයේ හමු වෙයි.

“හුදු විඤ්ඤාණයක්” යන්නෙන් මතු වන විරුද්ධාභාස පිළිබඳ ව බෘහදාරණ්‍යක උපනිශදය විවෘතව කතා කරන අවස්ථාවක පරිවර්තන තැතකි, පහත දැක්වෙන්නේ.

මේ සංවාදය සිදුවන්නේ බෘහදාරණ්‍යක උපනිශදයේ හමුවන විශිෂ්ටතම චරිතය වන යාඥවල්ක්‍ය සහ ඔහු ගේ බිරින්දන් දෙදෙනා ගෙන් විමුක්තිකාමී කත වූ මෛත්‍රෙයී අතර යි. යාඥවල්ක්‍ය ගිහි ගෙය හැර වනගත වීමට පෙර ඇය සමග කරන අවසාන සංවාදයේ අවසාන කොටසයි මේ:

“යම් සේ ජලයට දමන ලද ලුණු කැටයක් දිය වන්නේ ද, එය යලි ග්‍රහණය කළ නොහැකි වන්නේ ද, ඒ දිය කොතැනත් ලුණු රස ම වන්නේ ද, එපරිද්දෙන් ම මේ මහත් වූ, අනන්ත වූ පැවැත්ම විඥානඝනයක් ම වන්නේ ය. එයින් හටගත්තේ යමක් ද, එහි ම එය විනාශ වන්නේ ය. එතෙකින් ඔබ්බේ සංජානනයක් නොවන්නේ ය” යි යාඥවල්ක්‍ය කී ය.

“එතෙකින් ඔබ්බේ සංජානනයක් නොවන්නේ ය යන මේ කරුණෙහි ලා මම ව්‍යාකූල වීමි” යි මෛත්‍රෙයී පිළිවදන් දුන්නා ය.

“මෛත්‍රෙයී, මා කියන්නේ මුලා කරවනසුළු දෙයක් නො වේ. මෙය ම අවබෝධයට ප්‍රමාණවත් ය.

මක් නිසා ද යත්, ද්වයතාවක් ඇති තාක් කල් යමෙක් දෙයක් ආඝ්‍රාණය කරයි, යමෙක් දෙයක් දකියි, යමෙක් දෙයක් අසයි, යමෙක් දෙයක් කියයි, යමෙක් දෙයක් සිතයි, යමෙක් දෙයක් දැනගනියි.

යමෙක් බ්‍රහ්මන් හඳුනාගෙන සර්වාත්මත්වය සාක්ෂාත් කල කල් හි, කුමකින් නම් කුමක් ආඝ්‍රාණය කරයි ද? කුමකින් නම් කුමක් දකියි ද? කුමකින් නම් කුමක් අසයි ද? කුමකින් නම් කුමක් කියයි ද? කුමකින් නම් කුමක් සිතයි ද? කුමකින් නම් කුමක් දැනගනියි ද?යමකින් සියල්ල දැනගනියි ද, එය කුමකින් දත හැකි වේ ද? විජානකයා විජානනය කළ හැක්කේ කුමකින් ද, මෛත්‍රෙයී?”

— බෘහදාරණ්‍යක උපනිශද් 2.4.12–14
Painting by Anirban Guha

]]>
යාඥවල්ක්‍ය https://seylon.com/yajnavalkya/ Sat, 05 Sep 2020 21:25:38 +0000 http://seylon.com/?p=27 විදේහ නරපති ජනකයෝ රාජාසනාරූඪව සිටි කල් හි යාඥවල්ක්‍ය තෙමේ එහි පැමිණියේ ය.

ජනක නරපතියෝ උහු විචාලහ: “යාඥවල්ක්‍ය, කුමක් උදෙසා තෙපි මෙහි පැමිණියෙහු ද? ගවයන් කැමැත්තෙන් ද, නොහොත් සූක්ෂ්ම ප්‍රශ්න විචාරනු ලැබීමේ කැමැත්තෙන් ද?”

“ඒ දෙක ම උදෙසා, මහරජ යැ” යි යාඥවල්ක්‍ය පිළිවදන් දුන්නේ ය.

තව ද යාඥවල්ක්‍යයෝ මෙසේ ද කීහ: “මහරජ, තොප ගේ කවර හෝ ගුරුවරයෙක් දෙසන ලද්දක් කිව මැනව.”

“ශිලින පුත්‍ර ජිත්වන් මට මෙසේ කීය: වාග් ද්වාරය වනාහි බ්‍රහ්මන් වේ ය.”

“යහපත් මවක, පියෙකු, ගුරුවරයෙකු ගෙන් උපදේශ ලැබීමේ භාග්‍යය ලද්දෙකු කෙසේ කියයි ද, ශිලින පුත්‍ර ජිත්වන් ද එසේ ‘වාග් ද්වාරය නම් බ්‍රහ්මන් වේ ය’ යි කියා ඇත. වචනයෙන් තොර වූවෙකු කුමක් නම් කෙරේ ද? නමුත් ඔහු ඔබට එහි ආයතනය සහ ප්‍රතිෂ්ඨානය ගැනත් කීවෙහි ද?”

“නැත, ඔහු නො කීවෙහි ය.”

“මේ බ්‍රාහ්මණයා එක් පාදයක් ඇත්තෙක් සේ ය, මහරජ.”

“එසේ නම් තොප ම එය කිව මැනැවි, යාඥවල්ක්‍යයාණෙනි.”

“වචනය එහි ආයතනය ද ආකාශය එහි ප්‍රතිෂ්ඨාව ද වෙයි. ප්‍රඥාව සේ එය භාවනා කට යුතු ය.”

“ප්‍රඥාව යනු කිමෙක් ද, යාඥවල්ක්‍ය?”“ඒ වනාහි වචනය ය, මහරජ,“ යාඥවල්ක්‍ය තෙමේ පිළිවදන් දුන්නේ ය. “වචනයෙන් ම, ඍග් වේදය ද, යජුර් වේදය ද, සාම වේදය ද, අථර්වන් වංගීරසය ද, ඉතිහාස, පුරාණ, විද්‍යා, උපනිශද්, ශ්ලෝක, සූත්‍ර, අනුව්‍යාකරණ, ව්‍යාඛ්‍යායනාදිය ද, මෙලොව ද, පරලොව ද, හටගත් සියල්ල ද දැන ගන්නෙහි ය. වචනය, මහරජ, පරම බ්‍රහ්මන් වන්නෙහි ය. මෙසේ දැන භාවනා කරන්නහු වචනය විසින් හැර නොයනු ලබන්නෙහි ය. සියල්ලෝ උහු කරා නොපැකිළ පැමිණෙත්. දේවත්වය ලැබූයේ දෙවියන් ලබන්නෙහි ය.”

“මම තොපට හස්තියෙකු තරම් වූ ගොනෙකු සහ ගවයන් සහසක් පිරිනමන්නෙමි” යි ජනක නරපතියෝ කීහ.

යාඥවල්ක්‍ය තෙම පිළිවදන් දුන්නේ ය: “ශිෂ්‍යයෙකු ට සම්පූර්ණයෙන් ම උපදේශ නොදී ත්‍යාග නොපිළිගත යුතු ය යනු මගේ පියා ගේ අදහස විය.

තව ද කවරෙකු හෝ තොපට කියූවක් කිව මැනවි, මහරජ.”

— බ්‍රහදාරණ්‍යක උපනිශද් 4.1 කුඩා කොටසක පරිවර්තන තැතක්.

පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යය හින්දු ලෙස අප දැන් හඳුන්වන ආගමේ කූටප්‍රාප්තිය ය යනු මගේ අදහස යි. බුදුන් වහන්සේ ට සියවසකට දෙකකට පෙර විසූ යාඥවල්ක්‍ය වැනි විශිෂ්ටයින් ගේ අදහස් එවක ආගමික ගවේශකයන් ගැන පමණක් නොව බුදුන් වහන්සේ ඉගැන්වීමට උපයෝගී කරගත් සමාජගත මතිමතාන්තර ගැන ද ඉඟි අපට සපයයි.

]]>
පංචුපාදානස්කන්ධය https://seylon.com/five-aggregates/ Thu, 23 Jul 2020 05:33:58 +0000 http://seylon.com/?p=19 පංචුපාදානස්කන්ධය යනු අප සාමාන්‍යයෙන් සිතන්නට උගෙන ඇති පරිදි සරීර කූඩුව නො වේ.

පංචුපාදානස්කන්ධය යනු මගේ අතීත, වර්තමාන, අනාගත සියලු අත්දැකීම් ගොන්න යි; මගේ සමස්ත තුන් කල් ලෝකය යි.1

පංචුපාදානස්කන්ධය ඇඟිල්ල දික් කර පෙන්විය හැක්කක් නොවේ: එසේ පෙන්වන්නට නම් මා එයින් පිටත සිටිය යුතු ය. නැතහොත් ඊට අයත් නොවන යමක් ලෝකයේ තිබිය යුතු ය. එය පෙන්වන්නට තැත් කරන මට කල හැක්කේ ‘මාත් ඇතුළු මේ මුලු ලෝකය ම යැ’ යි කීමට ය.

ආධ්‍යාත්මික යැයි ඉරක් ඇඳ ඉන් සමහර කොටසක් මම ‘මම’ තුලට ඔබා ගනිමි. සාමාන්‍යයෙන් ඒ ඉර ඇඳෙන්නේ ශරීරය වටා යි.

එහෙත් ඒ ඔබාගන්නා දේ ‘මම’ නො වේ. සමහර විටෙක ‘මගේ ශරීරය, මගේ හිත’ ආදී වශයෙනුත් ‘මම’ ඒ සියල්ලට පිටින් හිඳිනු පෙනෙන බැවිනි.

ඒ නයින් ශරීරය ද මා විසින් අත්දකින විවිධ දේ අතර තවත් එක් ‘දෙයක්’ පමණි.

ශරීරය හෝ, පුටුව, මේසය, ඉර, හඳ හෝ අන් පුද්ගලයෙකු හෝ සතෙකු හෝ මේ මොන යම් දෙයක් වුවත් අත්දකින මට, ඒ කිසිවක් නොවන ඉන් මෙහා සිටින ‘මම’ ද නිරතුරු ව පෙනේ.

සෑම අත්දකින දෙයක් ම (ශරීරය, හිත ආදිය ද අත්දකින දේ ම ය), ඒ අත්දැකීම විඳින ‘මම’ හා බැඳී පවතී.

ඒ සෑම දෙයක් ම (එක් ව ගත්කල පංචුපාදානස්කන්ධය) එය අයත් කරගත්, එහෙත් කිසි විටෙක ඍජු ව ග්‍රහණය නොවන, ‘මම’ ප්‍රතිබිම්බනය කරයි.

‘දේවල්’ නොතිබුනොත්, ඒවායින් පිළිබිඹු වන ‘මම’ ට පැවැත්මක් නො වේ.2

මගේ ප්‍රේමණීයයන් ගේ සිට මැදහත්, අහිතවත් සියල්ලන් දක්වා ත්, මෑත කුඩා කුහුඹුවා ගේ සිට ඈත දැවැන්ත මන්දාකිණි දක්වා ත් ලෝකයේ සියලු දේ මගේ වන්නේ ‘මම’ ඒ මත යැපෙන බැවිනි.

ලොව ඕනෑ ම දෙයක අනිත්‍යතාව, සංඛාර දුක්ඛය කැඳවන්නේ එලෙසිනි.3

1. දෙවන ධර්ම දේශනාව වූ අනත්තලක්ඛණ සූත්‍රයේ දී ම (සංයුත්ත නිකාය 22.59), පංචුපාදානස්කන්ධය මෙසේ අර්ථ දැක්වෙයි:

“අතීත වූ ද අනාගත වූ ද දැන් පවත්නා වූ ද, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඕලාරික වූ හෝ සියුම් වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ සමීපයෙහි වූ හෝ, යම්කිසි රූපයක් . . . වේදනාවක් . . . සංඥාවක් . . . සංස්කාරයක් . . . විඥානයක් වේ ද ඒ සියල්ල . . . ”

(යං කිඤ්චි රූපං . . . වේදනා . . . සඤ්ඤා . . . සංඛාරා . . . විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්ථං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛුමං වා හීණං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්බං . . . )

2. සඤ්ඤාවේදයිතනිරෝධයෙන් පසු අරහත්වය එලැඹෙන්නේ එහෙයිනි (චූලවේදල්ල සූත්‍රය, මජ්ඣිම නිකාය 44)

3. රහෝගත සූත්‍රය (සංයුත්ත නිකාය 36.11)

]]>
මගේ ලෝකය https://seylon.com/my-world/ Tue, 21 Jul 2020 06:44:38 +0000 http://seylon.com/?p=14 “මා ඉපදෙන්නට පෙර ද, මේ දැන් මා ජීවත් වන ලෝකය පැවතිණ. මා මළ පසු ද, ලෝකය පවතී. මගෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇත.”

ධර්මය නිවැරදි කෙලවරින් අල්ලා ගැනීමට නම්, මුලින් ම අත් හල යුතු දෘෂ්ටිය මේ පාරභෞතිකය යි.

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී ඇතැ යි කිව හැක්කේ ‘මගේ’ ලෝකයක් පමණි. පොළොව, ඉර, හඳ, තාරකා, අනෙක් මිනිසුන්, සතුන්, පරමාණු, අණු පරමාණුක අංශු යනාදී මෙ කී නො කී දෑ ඇත්තේ මට සාපේක්ෂ ව ය. ඒ ඕනෑ ම ‘දෙයක්’ නිරීක්ෂණය කරන මට, ‘මම’ නමැති නිරීක්ෂකයා අත් හල නොහැකි ය.

සෑම ‘දෙයක්’ ම, ඒ දේ අත්විදින ‘මම’ ප්‍රතිබිම්බනය කරයි.

‘මම’ සිටින තාක් කල් ‘දේවල්’ පවතී; දේවල් ඇති තාක් ‘මම’ සිටියි. අත් දකින්නෙකු ගෙන් තොර ව—නිරපේක්ෂ ව—ලෝකයක් ‘පැවතිය’ හැකි ද? කිසිවක් ම අත් නොදකින කල ‘මම’ සිටිය හැකි ද?

හුදු ඉන්ද්‍රිය සංජානනයෙන් ඔබ්බේ ලෝකයක් කිසිවිටෙක අපට ග්‍රහණය නොවේ.1 ලෝකයේ යමකින් ලෝක සඤ්ඤී වේ ද, ලෝක මානී වේ ද, ආර්ය විනයෙහි ලෝකය යනු එය යි.2

බඹයක් පමණ වූ ශරීරය තුල ම, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් පැනවිය හැක්කේ එහෙයිනි.3

මමායනයේ කෙලවර ලෝකයේ ද කෙලවර යි.

]]>
තාරාවලෝකනය https://seylon.com/gaze-of-tara/ Fri, 17 Jan 2020 20:00:00 +0000 http://seylon.com/wp/?p=1 සියක් විදුලි බුබුලින් ඒකාලෝකිත, ස්වර්ණ, ශ්වේත වර්ණයෙන් අලංකෘත සියනෙන් යුත්, සුමට දාරුමය බිම්තලයෙන් නිෂ්ඨිත මහා මණ්ඩපයෙහි අග්‍ර කෙලවර, අමරාවතියෙන් ඔසවාගෙනවුත් ලන්ඩනයේ ප්‍රතිෂ්ඨාපිත කමනීය කැටයම් පෙළ අභිමුඛයේ, මෘගපතියන් විසින් ආරක්ෂා කෙරෙන්නාක් සේ වැඩ හිඳිනා තාරා බෝධිසත්ත්වයන් වහන්සේ දකිමි.

වසර දහසකට පෙර ගෝකණ්ණයේ දී උන් වහන්සේ යම් හෙළ ශිල්පියෙකු අතින් ප්‍රාදූර්භූත වූ සේක් ද, එ සමයේ උන් වහන්සේ ට ප්‍රදක්ෂිණා කල පැරැන්නෙකු ගේ හඬ හද තුලින් ඇසෙන්නාක් සේ ද වෙයි. ඒ හඬින් අනුබල ලැබ, ඒ කාරුණික සානුකල්පිත බැල්මෙහි ගැලෙනු වස්, සෙනග පරයා උන් වහන්සේ වෙත එළැඹෙමි.

තාරා බෝධිසත්ත්වයන් වහන්සේ බිරිතානිය වෙත පතල මහා කරුණාවෙන් ලංකාවේ සිට ලන්ඩනයට වැඩම කල ප්‍රයාණයේ අග්‍ර දානපතියාණෝ නම් එක්තරා රොබට් බ්‍රවුන්රිග් නම් සිටාණෙක් ල.

එකල් හි කැප්පෙටිපොල, විල්බාවේ, පිලිමතලාවේ, කිවුලේගෙදර, මඩුගල්ලේ, ඇහැලේපොල, කොහුකුඹුරේ ඈ නොයෙක් දෙසින් ඒ බ්‍රවුන්රිගයා ගැන වෙනත් කතාවක් කියන්නා සේ ද දැනෙයි. කුසල් සිත ද සැලෙයි.

ඒ හඬ වෑයමෙන් යට කර, සබය මැද වන්දනාවට ශ්‍රද්ධාව නොතරම් හෙයින් කරුණාවේ ප්‍රතිමූර්තියක් බඳු වූ තාරා බෝධිසත්ත්වයන් වහන්සේ සිතින් පමණක් වැඳ, දීනයෙකු සේ ලන්ඩනයේ වීදි වදිමි.

]]>